Slider Image

අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට නොමිලේ නීතිමය සේවා සැපයීම

සහය ලැබිය යුතු ඕනෑම ආර්ථික මට්ටමක සිටින ඕනෑම පුද්ගලයෙකුට නොමිලේ නීති උපදෙස් ලබා දීම.

Slider Image

සමස්ත ජනතාවට යුක්තිය වෙත පහසු ප්‍රවේශය

අඩු ආදායම්ලාභියකු බවට ග්‍රාම නිලධාරී ආදායම් වාර්තාවල නිර්දේශ මත සනාථ වන්නේ නම් එවැනි පුද්ගලයකුගේ අධිකරණමය කටයුතු වෙනුවෙන් නොමිලේ නීතිඥ සහාය ලබා දීමට කටයුතු කරනවා ඇත.

Slider Image

නීතිමය අවබෝධය වැඩිදියුණු කිරීම: වැඩමුළු, නීතිමය සායන

මහ ජනතාවට නීති දැනුම ලබා දීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම

Slider Image

පර්යේෂණ සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම

නීති ආධාර සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම, පිහිටුවීම හා අධීක්ෂණය සිදු කිරීම

Slider Image

testing

testing


අපි කවුද


නීති ආධාර කොමිෂන් සභාව

ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාටම සාධාරණත්වය ඉටු කිරීමට හැකි වන සේ යුක්තිය කරා පහසු ප්‍රවේශයක් ලබා දීමට කටයුතු කිරීම යන දැක්ම අනුව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ස්වකීය වැඩ පිළිවෙල දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ දී මජනතාව වෙත ලබා දෙනුයේ විශාල අත්වැලකි. දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 85 ක් මගින් නීති ආධාර ලබාදීම සිදු කරනු ලැබේ.ඒ වෙනුවෙන් නීතිඥයින් 120 ක් සහ අනෙකුත් කාර්යය මණ්ඩලය 152 දෙනෙකු කටයුතු කරනු ලැබේ. 1978 අංක 27 දරණ නීති ආධාර පනත යටතේ පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රි ලංකාවේ නීති ආධාර ලබාදෙන ප්‍රමුඛතම ආයතනය හා රාජ්‍ය ව්‍යුහයයි. අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනයක් වශයෙන් මෙය ක්‍රියාත්මක වේ. නීති ආධාර කොමිෂන් සභාවට අමතරව විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් විවිධ ඉලක්කගත කණ්ඩායමි වෙනුවෙන් නීති ආධාර ලබාදීම සිදු කරන අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අපරාධ නඩු කටයුතු මෙහෙයවන අවස්ථා වලදී අධිකරණය මගින් මෙම ක්‍රියාවලිය ඉටු කරනු ලබයි.
මහජනතාවගේ නෛතික සාක්ෂරතාවය ඇති කිරීමත් මහජනතාවට ඕනෑම නීති ප්‍රශ්නයකට නොමිලේ නීති උපදෙස් ලබාදිමත් ආන්තික ප්‍රජාවගේ නඩු කටයුතු වෙනුවෙන් නීතිඥ සහය ලබාදීමත් නීති ප්‍රතිසංස්කරණ වලදී රජයට අවශ්‍ය සහය ලබා දීම හා ක්ෂේත්‍රයට පැමිණෙන නවක නීතිඥයින් පුහුණු කිරීමත් හා නීති ශිෂ්‍යයින්ට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබා දිම යන මූලික අරමුණු ඉෂ්ට කිරීම මෙම නීති ආධාර පනත මගින් ආපේක්ෂිත අනෙකුත් අපේක්ෂාවන් සාක්ෂාත් කිරිම නීති ආධාර කොමිෂන් සභාව පිහිටු විමේ පරමාර්ථයයි.


අපගේ දැක්ම

ශ්‍රී ලාංකිකයින් සියළු දෙනාටම සාධාරණත්වය ඉටු කිරීමට හැකි වන සේ යුක්තිය කරා පහසු ප්‍රවේශයක් ලබා දීමට කටයුතු කිරීම.


අපේ මෙහෙයුම

දරිද්‍රතාවය නිසා යුක්තියේ පිළිසරණ ලබා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකාවේ දුගී ජන කොටස් සඳහා නීති ආධාර සැපයීමත්, අඩු ආදායම්ලාභී ජනතාවට නොමිලේ නීතිඥ සහාය ලබා දීමත්, සමස්ථ සමාජයම නීතිය පිළිබඳව දැනුවත් කිරීමත්, නව නීති සම්පාදනයේ දී හා නෛතික නීති ප්‍රතිසංස්කරණ වල දී රජයට උපදේශණ කාර්යයේ නිරත වීමත්, ආදී කාර්යයන් හරහා ජනසමාජය යුක්තිය කරා පහසු ප්‍රවේශයකට නිරත කරවීමයි.

ජයග්‍රහණ සහ සම්මාන


නීති ආධාර කොමිෂන් සභාව

ජාතික නීති ආධාර සේවා සංවිධානය - බංග්ලාදේශය:

අවාසි සහගත සහ ආන්තික ප්‍රජාවන්ට නොමිලේ නීති සේවා සැපයීම සඳහා අපගේ ආදර්ශමත් කාර්යය වෙනුවෙන් බංග්ලාදේශ නීතිය, අධිකරණ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවට (LACSL) ගෞරව කරන ලදී. මෙම පිළිගැනීම ශ්‍රී ලංකාවේ පමණක් නොව කලාපය පුරා යුක්තිය සඳහා ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවෙහි (LACSL) කාර්යභාරය අවධාරණය කරයි.

විසඳමු 2021 සම්මානය කොළඹ විශ්ව විද්‍යාල ලියෝ සමාජය:

නීති අධ්‍යාපනය සහ මහජන සම්බන්ධතා සඳහා අපගේ දායකත්වය වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාල නීති පීඨයේ ලියෝ සමාජය විසින් විසඳමු - 2021 සම්මානය සමඟින් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව (LACSL) පිළිගැනීමට ලක් විය. මෙම සම්මානය නීතිමය දැනුවත්භාවය ඉහළ නැංවීමට සහ අධ්‍යාපනය තුළින් පුරවැසියන් සවිබල ගැන්වීමට අපගේ අඛණ්ඩ උත්සාහයන් පිළිබිඹු කරයි.

2050 දී ශ්‍රී ලංකාව සංවිධානය - 2021 දෙසැම්බර්:

නීති සේවා ප්‍රවර්ධනය කිරීම සහ රටේ තිරසාර සංවර්ධන ඉලක්කවලට දායක වීම සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව (LACSL) හි කාර්යභාරය වෙනුවෙන් 2050 දී ශ්‍රී ලංකාව සංවිධානය 2021 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව (LACSL) ඇගයීමට ලක් කළේය. නීති සාක්ෂරතාවය සහ යුක්තිය සඳහා ප්‍රවේශය පුළුල් ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයේ කොටසක් බව සහතික කිරීම සඳහා අපගේ කැපවීම මෙම සම්මානය ඉස්මතු කරයි.

සංවර්ධනාත්මක නීති, ආධාර වැඩසටහන්

1. බන්ධනාගාර ව්‍යාපෘතිය

 

“සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය.” මෙම සංකල්පය කෙරෙහි ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ අවධානය 2002 වර්ෂයේ සිට යොමු වී ඇත. ඒ අනුව දීර්ඝ කාලයක් බන්ධනාගාර තුළ ඇප නොමැතිව හෝ ඇප කොන්දේසි අධිකරණයට තෘප්ත කිරීමට නොහැකිව සිටින රැඳවියන්ට නීති ආධාර සැපයීම මෙම වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථයයි. මේ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව දිවයින පුරා පිහිටි බන්ධනාගාර වල රඳවා තබා ඇති රැඳවියන් සඳහා නීති ආධාර සායන පවත්වමින් අවශ්‍ය තොරතුරු එක් රැස්කර ගැනීම සිදු කරනු ලැබේ. තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව නීති ආධාර ලබා දීම සඳහා තොරා ගන්නා රැඳවියන්ට ඔවුන්ගේ නඩු කටයුතු වෙනුවෙන් නොමිලේ නීතිඥ සහාය ලබා දීම සිදු කරනවා ඇත. බන්ධනාගාර තුළ රැඳවියන්ගේ ගැටලු හදුනාගැනීම සඳහා නීති සායන පැවැත්වීමත්, නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමත්, බන්ධනාගාර රැදවියන් සඳහා දැනුවත් කිරීමේ වැඩටහන් පැවැත්වීමත්, බන්ධනාගාර රැඳවියන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් සිරකරු සුබසාධක සංගමය සමග සහයෝගයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීමත් මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරනු ලැබේ. එසේම අපරාධ යුක්ති විනිශ්චයෙහිලා අවශ්‍ය කරන අධිකරණ ක්‍රියාමාර්ග සිදු කිරීමද මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.  නීති ආධාර කොමිෂන් සභාවේ (SLAC) අපරාධ නීති අංශය සමග සෘජුව සම්බන්ධ වෙමින් මෙම ව්‍යාපෘති කටයුතු සිදු කරයි.

 

2. ආදි වාසීන් සඳහා වූ ව්‍යාපෘතිය

 

වසර ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන ආදිවාසී ප්‍රජාවන් ලෝකයේ විවිධ රටවල ජීවත් වේ. ඇමරිකාවේ රතු ඉන්දියානුවන්, අප්‍රිකාවේ පිග්මිවරු, ඕස්ට්‍රේලියාවේ ඇබොරිජියන්වරු මෙන්ම ශ්‍රී ලංකාවේ වැදි ජනතාව ද ඒ අතරින් ප්‍රධාන වේ. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව වර්ෂ 2016 සිට සිදු කරන වැඩසටහන් වල ප්‍රධානතම ඉලක්කගත කණ්ඩායමක් ලෙස මෙම ජන ප්‍රජාව හඳුනාගෙන ඇත.
ශ්‍රී ලාංකික ඉතිහාසයේ ආදිතම පාර්ශවය නියෝජනය කරනු ලබන මෙම ජනතාව අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය, රැකියා සහ වාස භූමි යන සියලු ආකාරයේ තත්ත්වයන්ගෙන් ප්‍රාථමික අවධියේ පසුවනු ලබන්නෝ ය. නව ලෝකයට ගැලපෙන අයුරින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමේ දී ඔවුන් තුළ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීමත් ඔවුන් වෙත නීති ආධාර ලබා දීමත් අත්‍යවශ්‍ය කාරණයක් බව පෙනේ. එසේම ආදිවාසී ජන ප්‍රජාව ආරක්ෂා කිරීම අප රටේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීමේ වගකීම ඉෂ්ට කිරීමේ කාර්ය භාරයක් වන්නේ ය.
ආදිවාසී ජන උරුමයන් ආරක්ෂා කිරීම සහ මහජනතාව වෙත ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලබා දී ඇති වරප්‍රසාද ලබා ගැනීමේ ලා වූ යුක්තිය කරා පහසු සහ සමප්‍රවේශය ඇති කිරීමේ යාන්ත්‍රණය බලගැන්වීම සහ වඩා නම්‍යශීලි සහ ඵලදායී නීති ප්‍රතිසංස්කරණ ඇති කිරීමට රාජ්‍ය අවධානය යොමු කිරීම සිදු විය යුතුය. සර්වසාධාරණත්වය සහ සමානාත්මතාවයේ අයිතිවාසිකම් භුක්තිවිඳීමට සෑම සියළු ජන කොට්ටාසයකටම ඉඩප්‍රස්ථාව පුළුල් විය යුතුය. ඉහත කී කාරණා  සඳහා රාජ්‍ය අවධානය යොමු කර නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණයි.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි ජීවත් වන ආදිවාසීන් හමු වීම මඟින් ඔවුන්ගේ වාස භූමිය, සාම්ප්‍රදායික සිරිත්, ජනජීවිතය, ජීවිකාව, අධ්‍යාපන මට්ටම, වාසස්ථාන හා සම්බන්ධව ඇති වර්තමාන අභියෝග හඳුනා ගැනිම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණකි. ඒ අනුව ආදිවාසී ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන නීතිමය ගැටළුවලට විසදුම් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාමය කතිකාවත් නිර්මාණය කිරීමද මෙම ව්‍යාපෘතියේ අරමුණ අතර ප්‍රමුඛත්වය ගනී.

 

3. විදේශගත ශ්‍රමිකයින් සඳහා වූ ව්‍යාපෘතිය

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩා වැඩි දායකත්වයක් සපයමින් මෙරටට විදේශ විනිමය ගෙනු එනු ලබන විගමනික ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය, ජීවිත සුරක්ෂිතභාවය පිළිබඳ විශේෂ ආරක්ෂාවක් හා රැකවරණයක් තහවුරු කර ගත යුතුය. ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සංඛාත්මකව දිනෙන් දින වැඩිවන අතර ඔවුන්ගේ සුරක්ෂිතභාවයන් වෙනුවෙන් නව නීති ප්‍රතිපාදන ස්ථාපිත කර ඇති අතර ඒ මඟින් නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ ගත වීම වැලැක්වීම කටයුතු කිරීම තුළ විගමණික ශ්‍රමිකයන්ගේ රැකවරණය හා ආරක්ෂාව වඩාත් ස්ථායී වේ. අපගේ විගමණික සේවකයන්ගෙන් වැඩි දෙනෙකු ශ්‍රී ලාංකික කාන්තාවන් වන අතර ඔවුන්ගේ දුගී බව හා අඩු ආදායම් මට්ටම මේ සඳහා පාදකවී ඇත. වැඩි දෙනෙක් මැදපෙරදිග කලාපයේ රැකියාවන්හි නිරත වන නුපුහුණු ශ්‍රමිකයින් ගෘහසේවිකාවන් හා අර්ධ පුහුණු සේවකයින් ය. තාවකාලිකව රැකියා සඳහා විදේශ ගත වන බොහෝමයක් සඳහා ඉතා හොඳ වෙළඳපොලක් හා ඉල්ලීමක් ඇත්තේ මැද පෙර දිග කලාපයේ ය. පුහුණු හා හොඳ තත්ත්වයේ විදේශ ගත ශ්‍රමිකයින් සඳහා වෙළඳපල නැගෙනහිර ආසියාව හා බටහිර ආසියාව කේන්ද්‍ර කොට ව්‍යාප්ත වී ඇත.
ශ්‍රී ලාංකික විදේශ ගත ශ්‍රමික කාන්තාවන් බොහෝ දෙනෙක් මැදපෙර දිග කලාපයේ ගෘහසේවිකාවන් වශයෙන් කටයුතු කරනු ලබයි. මෙම ගෘහසේවිකාවන්ගෙන් වැඩි දෙනෙක් නුපුහුණු හා කාර්යක්ෂම බවින් අඩුවීම හේතුකොටගෙන ඔවුන්ගේ සේවා ස්ථානයන්හි විශාල වශයෙන් ඔවුන්ට හිමි කම්කරු අයිතිවාසිකම් අහිමි වීම්, අපයෝජන, ශාරීරික හා මානසික හිංසන වැනි මානව හිමිකම් කඩ වීම් වල ගොදුරු බවට පත් වී ඇත. එසේම ඇතැම් විගමණික කාන්තාවන් විදේශයන්හිදී  අපරාධ හා වැරදි වලට මුහුණ පෑමට සිදු වන අවස්ථාවන් හි දී විශාල අපහසුතාවන්ට පත්වේ. වැඩි දෙනෙක් එම රට වල නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කිසිවක් නොදනී.
ගැටලු වලට මුහුණ පෑ විදේශගත ශ්‍රමිකයින් සඳහා අවශ්‍ය නෛතික රැකවරණය සිදු කිරීම මෙම අංශය මඟින් සිදු කරනු ලැබේ. උපදේශන සේවය ලබා දීමෙන් පසුව එම තැනැත්තන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය වෙත හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත හෝ අවශ්‍ය අවස්ථාවන්හි දී අධිකරණමය කටයුතු උදෙසා යොමු කිරීමෙන් ස්වකීය කාර්ය භාරය ක්‍රියාත්මක කෙරේ. විදේශගත ශ්‍රමික පවුල් දැනුවත් කිරීමේ වැඩසටහන්, ඔවුන්ගේ තොරතුරු රැස්කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ''ගැමි සංසඳය" නමැති ප්‍රජා මූල අධීක්ෂණය කිරීම හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වෙමින් මෙම ඒකකය කටයුතු කරනු ලැබේ.


නීති ආධාර කොමිෂන් සභාව

අප විසින් හසුරුවන සියලුම නඩු නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව (LACSL) විසින් "නඩුවේ සාරාංශය පිළිබද දැනගැනීම", ක්‍රියාත්මක කර ඇත. මෙම මෙවලම සේවාදායකයා හට තමාගේ නඩු නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි, මෙය සෑම නඩුවකටම ලැබිය යුතු අවධානය ලැබෙන බව සහතික කරයි. අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට සහ ඒවා වඩාත් අවශ්‍ය ස්ථානවල අපගේ උත්සාහයන් යොමු කිරීමට අපට උපකාරී වේ. මෙමගින් අපගේ ප්‍රවේශය අඛණ්ඩව අධ්‍යයනය කරමින් සේවාදායකයින් වෙත වඩා පහසු ප්‍රවේශයක් සහතික කළ හැකිය.

නඩුවේ තත්වය දැනගන්න